යුද හමුදාව හැර ගිය සාමාජිකයින්ට අනිද්දා සිට පොදු සමා කාලයක් – කොන්දේසි මෙන්න !

992 Views
2 Min Read

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින් හට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට ලබාදුන් පොදු සමා කාලය අනිද්දා (20) සිට ක්‍රියාත්මක වනවා.

මැයි මස 20 වනදා දක්වා ප්‍රකාශිත එම පොදු සමා කාලය තුළ, තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් ඔවුන්ට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇති බවයි, යුද හමුදාව ප්‍රකාශ කළේ.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 02 වනදා සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ නිලධාරි හා සෙසු නිලයින් පහත සඳහන් ලිපි ලේඛණ සමගින් තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් රපෝර්තු කළ යුතු අතර, එහිදි අස්කිරීමේ මූලික පාලන කටයුතු පැය 72 ක කාලසීමාවක් තුල සිදුකර යුද්ධ හමුදා සේවයෙන් නීත්‍යානූකූලව ඉවත් වීම සඳහා කටයුතු සලසා දී තිබෙනවා.

  1. යුද්ධ හමුදා හැඳුනුම්පත (යුද්ධ හමුදා හැඳුනුම්පත අස්ථානගතව ඇත්නම් මෑතකදී ලබාගන්නා ලද පොලිස් වාර්තාවක පිටපතක්)
  2. ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්.
  3. වැටුප් හා දීමනා බැර කරන ලද බැංකු පොතේ ඡායා පිටපතක්.
  4. අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායා පිටපතක් (ඇත්නම් පමණක්).

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති, නීත්‍යානූකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත්වීමකින් තොරව විදේශගතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට ද නැවත රපෝර්තු කිරීමකින් තොරව තම රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් මෙම පොදු සමා කාලය තුලදී නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීමට පහසුකම් සලසා දී තිබෙනවා.

Share This Article
Leave a comment