විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 2024 නව අවුරුදු සුබපැතුම් පණිවිඩය!

2 Min Read

ජයග්‍රහණයන්ට වඩා අප්‍රමාණ පරාජයන්ගෙන් සමන්විත වූ වසරක් අවසන් වී නව වසරක් උදා වෙමින් තිබේ.

2023 වසර අපට සිතේ සතුටු විය හැකි කිසිවක් නොලද වසරක් වන අතර ජනතාවට ජයග්‍රහණයක සේයාවක්වත් ඒ වසර තුල හමුවූයේ නැත.

පවත්නා ව්‍යාකූල සහ බලාපොරොත්තු විරහිත අන්ධකාර සමය නිමා කළ හැක්කේ විධිමත් ජනවරමක් සහිත ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මිස අන් කිසිවකින් නොවේ. එබැවින් මූලික අරගලය විය යුත්තේ එළඹෙන වසරේ නව මැතිවරණයකට මග පාදා ගැනීමය. එය එසේ නොවන්නේ නම් තවදුරටත් වර්තමාන පාලකයා විසින් වඩා සුරක්ෂිත ව රාජපක්ෂවරුන්ව වැල් පාලමෙන් එතෙර කළ තවත් වසරක් බවට 2024 පත් වනු ඇත.

ආර්ථික සහ දේශපාලන වශයෙන් බරපතල අවදානම් රැසකට රට මුහුණ දී ඇති මේ මොහොතේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට පවා අසාමාන්‍ය ලෙස අභියෝග රාශියක් පැමිණ තිබේ. කෘෂිකර්මාන්තය සහ ව්‍යවසායකත්වය මත පදනම් වූ ස්වයංපෝෂිත ආර්ථික රටාව වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වී තිබේ.

මේ තත්ත්වය වෙනස් කිරීමට නම් පාලකයන්ගේ සුඛවිහරණය ගැන නොව ජනතාව ගැන සිතන පාලන ක්‍රමයක් රටට අවශ්‍ය වේ. 75 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ කිසිදු විපක්ෂයක් නොකරපු ජනතා සේවාවක් පසුගිය වසර 3ක කාලය තුළ රටේ ජනතාවාදී විපක්ෂය වූ සමගි ජන බලවේගය බලයක් නොමැතිව ඉටු කළේය. එකී සේවාව අඛණ්ඩව 2024 වසරටත් ගෙන යාම අපගේ අරමුණ යි.

එසේම ජනතාව තලා පෙලා බදු පිට බදු අයකරමින් ජන ජීවිත විනාශ කිරීමට රජය කටයුතු කර ඇති මේ මොහොතේ රටක් ලෙස අප නැවතත් එකතු විය යුතුය. මේ එළැඹෙන නව වසර ශ්‍රී ලාංකික අපට තීරණාත්මක වර්ෂයකි.

එය රටේ අනාගතය තීරණය කරන මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිත වර්ෂයකි.

එබැවින් මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන් හි ඵල සාමකාමීව භුක්ති විඳිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට සියලු‍ දෙනාම එකට එක්වන ලෙස ඉල්ලා සිටිමි. මේ නව වසරේ හෝ ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.

සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
විපක්ෂ නායක

Share This Article
Leave a comment