කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් නොතීසි!

469 Views
1 Min Read

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (12) නියෝග කළේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය දර්ශන ඇතුළත් දුරකථනයක් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට අධිකරණය ලබා දුන් නියෝගයක් වසර 8ක් පුරාවට පැහර හැර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ කියා සිටියේ අසභ්‍ය වීඩියෝ දර්ශන සන්තකයේ තබාගෙන අන්තර්ජාලය හරහා මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේ සැකකරුවෙකු 2016 වසරේදී අත්අඩංගුවට ගත් බවය.

එසේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ ජංගම දුරකථනය සම්බන්ධයෙන් පරිගණක වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට අවස්ථා කිහිපයකදී අධිකරණය මගින් දැනුම් දී තිබේ.

නමුත් සිද්ධිය සිදුව වසර 8ක් ගතව ඇතත් එම පරිගණක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට එම විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට නොතීසී නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධියට අදාළ නඩුව ලබන මැයි මස 25 වැනි දින නැවත කැඳවීමට නියමිතය.

Share This Article
Leave a comment