ඊයේ (02) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලද අඛණ්ඩ අන්ත පරාජයෙන් පසු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය වෙමින් තිබෙනවා.
සමාජ ජාල ඔස්සේ ඒ සඳහා ඇතැම් පිරිස් විසින් ඒ වෙත පිරිස් කැඳවමින් ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජයන්ට විරෝධය පළ කරමින්.
ක්‍රිකට් ආයතනයට අප්‍රසාදය පළ කිරීම සඳහා මෙම සාමකාමී විරෝධතාවය සංවිධානය කරන බවයි එම සමාජජාලා වාර්තා කියා සිටින්නේ.
ඕනෑම පුද්ගලයකු හෝ කණ්ඩායමක් බලයෙන් නෙරපා හැරීමට වෙන වෙනම නීති තිබේ. එහෙත් නීතිය නිරුවත් කර තම තමන්ට ඕනෑ හැටියට සෙල්ලම් කරන ඕනෑම ජගතකු ගෙදර යැවීමට නම් ජනතා අරගලයක් සිදු විය යුතුමය. එවැනි අරගල ශ්‍රී ලංකාවේ සිදු වී තිබේ.
ඊයේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී කුසල්ලා මෙරට ක්‍රීඩාලෝලීන්ට පෙන්වා දුන්නේ රටේ නීතියත්, ක්‍රීඩාවේ නීතියත් සෙල්ලමට ගත් ෂම්මිලාගේ කෙරුවාවේ තරම මිස අන් කිසිවක් නොවන බව තරගය අන්ත පරාජයට පත්වීමෙන් පැයක් ගතවීමටත් පෙර ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් තේරුම් ගෙන තිබේ.
මුහුණුපොතේ #GoHomeSLCBoard සටන ක්‍රීඩාලෝලීන් ආරම්භ කර ඇත්තේ එනිසාය.
ඔඩිට් රිපෝට් තිබුණත්, කුසලා සරෝජනී වාර්තා තිබුණත්, පාර්ලිමේන්තුවේ වාද විවාද කළත් ක්‍රීඩා ඇමැතිට එළවන්නට බැරි වූ ෂම්මි ප්රමුඛ නඩය එළවා දැමීමේ අරගලය දැන් ජනතාව අතට ගෙන හමාරය.
කටින් බතල හිටවීමේ ක්‍රීඩා ඇමැතිගේ තියරිය ඔහුටම තබා ගන්නැයි කියමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පණ මෙන් ආදරය කරන මිලියන 22ක් ජනතාව ෂම්මිලා එළවා දැමීමේ සටන අතට ගෙන අවසන්ය.
තරග පරාජය වීම වෙනම එකකි. එහෙත් මෙහෙමත් පරාජයක් දෑසින් දැක බලාගැනීමට සිදුවීමේ පව්කාරකම ක්‍රීඩාලෝලීන්ට උදා කර දුන්නේ ෂම්මිලා ඇතුළු නඩය බව දැන් ක්‍රීඩාලෝලීහු දනිති.
කටයුතු මෙසේ සිදුවෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ඉන්දියාව හමුවේ ලද අන්ත පරාජයෙන් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබෙනවා. ඒ ඊයේ තරගය ක්‍රීඩා කරන කණ්ඩායම තේරීම සිදු කළේ කුමන පදනමකින්ද, යන්න විමසීම සඳහා බවයි වාර්තා වන්නේ.