News

ජනපතිගෙන් ඉන්දීය අගමැති මෝදිට පොරොන්දුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ විශේෂ අවස්​තා !

ඉන්දියාවේ ආරක්ෂාවට හානිදායක වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත පොරොන්දු වී තිබේ.

ඉන්දීය අග්‍රමාත්‍යවරයා සමග අද (දෙසැම්බර් 16 වැනිදා) ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

“ඉන්දියාවේ ආරක්ෂාවටත්, කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට පොරොන්දු වුණා. සහතික වුණා.” ජනාධිපතිවරයා පැවසීය.

ඔහු කියා සිටියේ, “එළඹෙන වසර ගණනාව තුළ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට කිසිදු සැකයක් නැති ඉන්දියාව සමග ඇති සහයෝගීතාවය අඛණ්ඩව වර්ධනය කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව නැවත අවධාරණය කරනවා.”

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කළ බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මෙහිදී සිය සතුට පළ කළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග “සංහිඳියාව සහ ප්‍රතිසංස්කරණය” පිළිබඳව සාකච්ඡා කළ බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා රජය දෙමළ ජාතීන්ගේ අභිලාෂයන් ඉටු කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

අද්විතීය ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව සහයෝගයෙන් කටයුතු කරන බව ද අගමැති මෝදි මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉන්දියාවේ ශක්තිමත් සහයෝගය ලබා දෙන බව ඉන්දීය අගමැතිවරයා සිය ප්‍රකාශයේදී අවධාරණය කළේය.

සාම්පූර් හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව එහි ධාරිතාව තවදුරටත් වැඩි කිරීම, ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ස්වභාවික ද්‍රව ගෑස් සැපයීම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි ධාරිතා විදුලි ජාල අන්තර් සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීම, සත්ත්ව හා වෘක්ෂලතා ඇතුළු පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පෝක් සමුද්‍ර සන්ධියේ අක්වෙරළ සුළං බල ශක්තිය ඒකාබද්ධව සංවර්ධනය කිරීම වැනි කරුණු ගැනද මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර සාකච්ජා පවත්වා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය හරහා වසර පහක කාලයක් තුළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු හරහා ශ්‍රී ලාංකික සිවිල් සේවකයන් 1500කට කේන්ද්‍රගත පුහුණුවක් සංවිධානය කිරීමට එකඟ වි තිබේ.

ඉන්දිය – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) දෙරට අතර වෙළඳ හවුල්කාරිත්වය වැඩිදියුණු කර ඇති බවත්, ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ වේගය සහ අවස්ථාවන් අවධාරණය කරමින් වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට විශාල හැකියාවක් ඇති බව දෙරටේ රාජ්‍ය නායකයින්ගේ අවධානයට යොමු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හවුල් ආරක්‍ෂක අවශ්‍යතා හඳුනා ගනිමින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ විනිවිදභාවය මත පදනම් වූ නිරන්තර සංවාදයේ වැදගත්කම සහ එකිනෙකාගේ ආරක්‍ෂක අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම රාජ්‍ය නායකයන් දෙදෙනාම අවධාරණය කළ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය රාෂ්ට්‍රපති භවන්හීදී

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (දෙසැම්බර් 16 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක , අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර 21ක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගනු ලැබිණි. අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය.

ඉන්පසුව දෙරටේ නායකයන්ට දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස හඳුන්වා දීම සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවයට රාජ්‍ය තාන්ත්‍රකයෝ රැසක් එක්ව සිටියහ.

පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව රාජ්ඝාට්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉන්පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය සිහිපත් වීම පිණිස රාජ්ඝාට්හි පිහිටි ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ අශෝක පැළයක් රෝපණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක අමුත්තන්ගේ පොතේ ද අත්සන් තබනු ලැබීය.

අද (16) දිනයේ දී පළමුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතය. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව අද රාත්‍රියේ පැවැත්වේ.

එසේම අද දිනයේදී ජනාධිපතිවරයා ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් සහ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන්, සෞඛ්‍ය අමාත්‍ය ජේ. පී නද්දා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

තවද ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ මෙරට ආයෝජන සිදු කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂා කෙරේ.

ජනපති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් අතර හමුව

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක (දෙසැම්බර් 15) ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවිය.

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එසේම ඉන්දියානුවන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද සාකච්ඡා විය.

ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් අතර හමුව ඉතා සුහදශීලි ලෙස පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරැදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානයට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙරට සංචාරක, ආයෝජන සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය ඒකඟතාවය පළ කරන බවද ආචාර්ය එස්.ජයිශංකර් මෙහිදී කියා සිටියේය.

ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

ඉන් අනතුරුව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවකට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජනාධිපති අනුර කුමාර දිසානායක (දෙසැම්බර් 15 වැනිදා) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා විය.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්විමෙන් පසුව ප්‍රථම විදෙස් සංචාරය ලෙස (දෙසැම්බර් 15 වැනිදා) පස්වරුවේ අසල්වැසි ඉන්දියාව බලා පිටත්ව ගියේය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.

ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සංචරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

මෙහි දී ඉන්දීය අගමැති හමු වී එකඟතා කිහිපයකට ද එළඹීමට නියමිත බවත් මෙම සංචාරයේ දී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු ම මුණ ගැසීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වෙයි.

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජනාධිපති අනුර කුමාර දිසානායක (දෙසැම්බර් 15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා විය.

ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන් , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දීය ප්‍රොටකොල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා ව පිළිගනු ලැබූහ.

දෙරට අතර ආයෝජන සහ වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දිල්ලි නුවර පැවැත්වෙන ව්‍යාපාරික උත්සවයකට සහභාගිවීමට සැලසුම් කර ඇති ජනාධිපතිවරයා, බුද්ධගයාවේ සංචාරය කිරීමට ද නියමිතව ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය දෙරට අතර බහුවිධ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම සංචාරයේ දී දෙරට ඇති කරගන්නා ගිවිසුම් සහ තීන්දු තීරණ සම්බන්ධයෙන් සංචාරයෙන් පසුව දෙරට විසින් නිකුත් කරනු ලබන ඒකාබද්ධ නිවේදනයක් හරහා දැනුවත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස දෙසැම්බර් 11 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

පළමුවෙන් සුබ පැතු ඉන්දියාව

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව මෙන්ම මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරි‍මෙන් අනතුරුව ජනපති අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණ සුබ පැතුම් පළ කළ මුල්ම රාජතාන්ත්‍රික නියෝජිතයා වන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ය.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණි පළමු විදේශ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ය.

එම හමුවේ දී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ද ඉන්දීය විදේශ ඇමැතිවරයා ආරාධනා කළේය.

‘අපි ලෝකයෙන් හුදෙකලා විය යුතු රාජ්‍යයක් නෙමෙයි’

ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදෙකලා විය යුතු රාජ්‍යයක් නොවී ලෝකයත් සමග සාමූහිකව ඉදිරියට යා යුතු බව ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව ජාතිය ඇමතූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අපි ලෝකයෙන් හුදෙකලා විය යුතු රාජ්‍යයක් නෙමෙයි. ලෝකයත් එක්ක සාමූහිකව ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්න අපි කිසිසේත් ම පැකිළෙන්නේ නැහැ,

ජනපති වීමට පෙර ඉන්දියාවට ගිය ගමන

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමට පෙරත් මේ වසරේ පෙබරවාරි මාසයේ ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත විය.

එම සංචාරයට එවක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු තිදෙනෙකු එක්වු අතර එය දින 05ක සංචාරයකි.

එම සංචාරයේ දී ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හා අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුවිය.

ද්විපාර්ශවික සම්බන්ධතා පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කරගත් බව හමුවෙන් අනතුරුව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහන් කර තිබුණි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාට අමතරව අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස එරට ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයාත්, ගුජරාට් සහ කේරළ ප්‍රාන්තවල දේශපාලනකයින් ඇතුළු පිරිසක් හමුවී තිබුණි.

ඉන්දියාවෙන් ආරාධනා කරනකොට බලය බැලුවා නම් ජනාධිපති අපි නෙවෙයි. අගමැති අපි නෙවෙයි. කැබිනට් මණ්ඩලය අපි නෙවෙයි. පාර්ලිමේන්තුවේ ලොකු කණ්ඩායම අපි නෙවෙයි. විපක්ෂය අපි නෙවෙයි. පාර්ලිමේන්තුවේ අපි තුනයි. හැබැයි, එන්න කියනවා අපිට. ඇයි ඒ? බලය කොතන ද? බලය තියෙන්නෙ ජනාධිපති ගාව ද? බලය තියෙන්නෙ කැබිනට් මණ්ඩලයෙ ද? බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට ද? නෑ. බලය තියෙන්නෙ ජනතාව ගාව. ජනතාව වඩාත් වැඩියෙන් පොදු බැඳගෙන එන්නෙ කාට ද? අන්න එතන තමයි බලය. ඒක තමයි ඉන්දියාව මැනපු බලය.

ඉන්දීය සංචාරය අවසන් කර පෙරළා දිවයිනට පැමිණ දින කිහිපයකට පසුව පැවති ජන හමුවක දී එවක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය සංචාරය ගැන පැහැදිලි කරමින් කියා සිටියේය.

ජවිපෙ ඉන්දීය විරෝධය

ජාතික ජන බලවේගයේ ප්‍රධානතම කොටස්කරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම විටින් විට ඉන්දීය විරෝධි ප්‍රතිපත්තියක් දැරූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.

1987 ජූනි 3 ඉන්දීය ගුවන් ආක්‍රමණයත්, බෝට්ටුවලින් යාපනයට ආහාර හා ඖෂධ තොගයක් එවීමෙන් පසුව “ඉන්දියාව ගුවනින් පරිප්පු දැම්මා. ඊළඟට ගොඩබිමින් ඇවිත් ලංකාව ආක්‍රමණය කරනවා” යැයි ජවිපෙ අනතුරු ඇඟවීය.

එමෙන් ඉන්දු – ලංකා ගිවිසුම ඇතුළු දෙරට අතර ගිවිසුම් රැසක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගට ම විරෝධය පළ කිරීම එම පක්ෂය ඉන්දීය විරෝධී මතයක් දැරූ බවට සාක්ෂි දරයි.

Ceylon News Factory

Recent Posts

අඟුලාන ප්‍රදේශයෙන් අලුත උපන් බිළිඳු මළ සිරුරක් හමු වෙයි !

අඟුලාන දුම්රියපොළ පාරේ ඇළ මාර්ගයේ තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. අදාළ ඇළ…

35 minutes ago

බලශක්ති ඇමති කුමාර ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි !

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන්…

1 hour ago

තවත් පිරිසක් සජිත්ගෙන් වෙන්වෙයි!

සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…

5 hours ago

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද? අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර​ගේ CID යයි (VIDEO)

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…

8 hours ago

මෛත්‍රීපාල සිරිසේනට එරෙහි අධිකරණය​ට අපහාස කිරී​මේ නඩුවේ තීරණය මෙන්න!

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…

9 hours ago

ජනපති අනුරට ඉන්දීය ජනපති නිල නිවසේ දී උණුසුම් පිළිගැනීමක් (VIDEO)

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට…

10 hours ago