ක්‍රිෂ් ගොඩනැගිල්ලේ තවත් කොටසක් කඩා වැටෙයි !

1.1k Views
1 Min Read

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනාරක්ෂිත භාවය සම්බන්ධයෙන් හෙට දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන බව කොටුව පොලිසිය පවසනවා.

ඒ, එම ගොඩනැගිල්ලේ යකඩ ආවරණ කොටසක් අදත් කඩා වැටී තිබූ පසුබිමකයි.

කොළඹ – කොටුව ප්‍රදේශයේ පිහිටි මහල් 55කින් සමන්විත ක්‍රිෂ් චතුරස්‍ර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකර එය අත්හැර දමා ඇත්තේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කරමින්.

අප මේ සම්බන්ධයෙන් අවස්ථා රැසකදී පෙන්වා දුන්නද තවමත් ඊට නිසි පිළියම් යෙදීමට බලධාරීන් කටයුතු කර නැහැ.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඉහළ සවිකර තිබූ යකඩ ආවරණ කොටසක් අද පස්වරුවේත් කඩා වැටුණා.

ගොඩනැගිල්ලේ පවතින අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් අප කොටුව පොලිස් ස්ථානය දැනුවත් කළ අතර ඒ අනුව හෙට දින අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය සඳහන් කළා.

ඉකුත් ඔක්තෝබර් මස 06 වැනිදා ද මෝටර් රථයක් මතට මෙහි යකඩ කොටසක් කඩාවැටී තිබුණා.

එමෙන්ම පසුගිය 07 වැනිදා එහි තවත් ඉදිකිරීම් ආධාරක කොටසක් යෝර්ක් විදියේ නතර කර තිබූ මෝටර් රථයක් මතට කඩාවැටී තිබූ අතර පසුගිය 08 වැනිදා රාත්‍රියේ ද එහි යකඩ කොටසක් කඩා වැටී තිබුණේ කාර්යාල සේවකයින් මෙන්ම රථවාහන ද එම ස්ථානයෙන් ගමන් ගත් අවස්ථාවකදීයී.

අද කඩා වැටුණු යකඩ කොටසත් සමග මෙහි ඇති අවදානමේ තරම යළිත් පසක් වන අතර බලධාරීන් මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට කල් මරන්නේ වටිනා ජීවිතයක් ඊට බිලිවෙන තෙක්ද?

Share This Article
Leave a comment