දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය මහජනතාවට විවෘත වෙයි !

390 Views
1 Min Read

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබෙනවා.

පුරා වසර 30 ක් පැවති යුද තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබුණා.

යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් එම මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත කෙරුණේ නැහැ.

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කර තිබුණා.

පසුගිය ඔක්තෝබර් 22 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුකාරවරුන් අතර පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්ද ජනාධිපතිවරයාගෙන් මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදු කර තිබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක තත්ත්වය සොයා බලා ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Share This Article
Leave a comment