Local

පෑලියගොඩ පොලීසියේදී තරුණයෙක් ඝාතනයට ලක්වෙයි – දෙමාපියන්ගේ දැඩි චෝදනා !

පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසු වූ තරුණයෙකු ඝාතනයට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, මිනුවන්ගොඩ, හොරම්පැල්ල, වේරගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි විහඟ ප්‍රමුදිත පතිරණ නමැති 27 හැවිරිදි තරුණයෙක්.

ඔහු පසුගිය අප්‍රේල් මස 22වැනිදා පස්වරු 3.30ට පමණ නිවසින් පිටත්ව ගොස් තිබුණේ, කාර්මික දෝෂයට ලක්ව ඇති සිය යතුරු පැදිය සාදා ගැනීම සඳහා සුපුන් නමැති කාර්මික ශිල්පියා කැටුව පැමිණීම සඳහායි.

කෙසේ වෙතත් පසුදින අලුයම වනතෙක්ම ඔහු නැවත නිවස වෙත පැමිණ සිටියේ නැහැ.

ඉන් අනතුරුව විහඟ ප්‍රමුදිතගේ පියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි දී මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ තරුණයා සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති අතර ඔහු සමඟ සිටි සුපුන් නමැති ගරාජ් බාස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විස්තර පෑළියගොඩ පොලිසියෙන් ලැබී ඇති බවයි

ඒ අනුව ඔවුන් පසුදින රාත්‍රියේ එම අපරාධ විමර්ශන කොට්ඨාසයට දුරකතන ඇමතුමක් ලබා දී තිබුණා.

එම අවස්ථාවේ දී සිය පුත්‍රයා කැගසන හඬ දුරකතනයෙන් ඇසුණු බවයි මියගිය තරුණයාගේ පියා අනාවරණ කර සිටියේ.

එම ඇමතුමට පිළිතුරු ලබා දුන් නිලධාරියා ප්‍රකාශ කර තිබුණේ, විහඟ නමැති අයෙකු සිය භාරයේ නොමැති බවයි.

පසුගිය අප්‍රේල් මස 24 වැනිදා නීතිඥවරයෙකු සමඟ මිය ගිය තරුණයාගේ ඥාති සහෝදරයෙක් පොලිසියට ගොස් තිබෙනවා.

එහි දී විහඟ ප්‍රමුදිත එහි සිටින බවට තහවුරු වූ බව සඳහන්.

විහඟ ව අත්අඩංගුවට ගනු ලැබුවේ කුමන චෝදනාව යටතේ දැයි ඔවුන් ප්‍රශ්න කර ඇති අතර එහි දී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ කෙරුණා.

එමෙන් ම අපරාධයකට සම්බන්ධ වාහනයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත සුපුන් නමැති අයව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අප්‍රේල් මස 25 වැනිදා විහඟව අධිකරණයට ඉදිරිපත් කරන බවට විමර්ශන නිලධාරියෙකු සිදු කළ දැනුම්දීමකට අනුව පවුලේ උදවිය පොලිසියට ගොස් තිබෙනවා.

විහඟගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට නොහැකි වූ බවත්, මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත විහඟව අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය දැනුම් දුන් බවයි ඔහුගේ පියා කියා සිටියේ.

පොලිස් සිරකුටියේ වැටි සිටි විහඟගේ මුහුණ තුවාල වී තිබු බවත්, ඔහු සමඟ සුපුන් නමැති පුද්ගලයා සිටි බවත් සඳහන්.

ඒ වනවිට විහඟ කතා කිරීමටත් නොහැකි තත්ත්වයේ සිටි බව ඔහුගේ සහෝදරයා ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ දී සිය පුත්‍රයාව රෝහලට ඇතුළත් කරන ලෙසට පියා ඉල්ලා ඇති අතර පොලිස් නිලධාරින් සඳහන් කර ඇත්තේ, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන බවයි.

කෙසේ වෙතත් ඒ වනවිටත් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වූ විහඟව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

ඒ, පවුලේ ඥාතීන් විසින් සිදු කළ දැඩි ඉල්ලීම හේතුවෙන්.

ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරුන් තහවුරු කර තිබුණේ, රෝහල් ගත කරන විටත් විහඟ මිය ගොස් ඇති බවයි.

එමෙන්ම තරුණයාගේ මරණයෙන් පසු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ ඇතැම් කරුණු අසත්‍ය බව පියා අනාවරණ කළා.

සිය පුත්‍රයා කොට කලිසමක් ඇඳගෙන සිටි බවට එහි සඳහන් කර තිබුණ ද‍ ඔහු බොටම් වර්ගයේ නිල් පැහැති කලිසමක් ඔහු ඇඳගෙන සිටි බවයි, පියා කියා සිටියේ.

ඔවුන් චෝදනා කරන්නේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ගේ කෲර පහරදීම් හමුවේ අදාළ තරුණයා ජීවිතක්ෂයට පත් වූ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලා ඉදිරියේදි කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago