කොළඹට නුදුරු සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කොට කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
ගැටුම අතරතුරදි ආදි සරසවි සිසුවකු පැදවූ වෑන් රථයක හෝටල් සේවකයකු අනතුරට ලක් කිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
එම සරසවියේ දැනට අධ්‍යාපනය ලබන හා ආදි සිසුන් පිරිසක් අතර හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ හෝටලයක ඉකුත් 30 දා සවස සිට මත්පැන් සාදයක් පවත්වා තිබේ.
මේ සඳහා සිසුන් හා ආදි සිසුන් පිරිසක් සමග ඔවුන්ගේ හිතවතුන් පිරිසක් සහභාගී වී සිට තිබේ.
එහිදි සිසුන් අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර එය දුර දිග යාමෙන් සුළු ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. එහිදී එම ගැටුම පාලනය කිරීම සඳහා හෝටල් සේවකයන් මැදිහත්වීමත් සමඟ සාදය සඳහා සහභාගී වූවන් හෝටල් සේවකයින් අතර ආරවුලක් හටගෙන දෙපාර්ශ්වය විසින් එකිනෙකා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.