Asia Cup 2023 – මතීෂගේ විශිෂ්ට පන්දු යැවීම, චරිත් සධීරගේ පිතිහරඹය ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ පළමු ජය හිමි කරයි !

338 Views
2 Min Read

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (Asia Cup 2023) දෙවැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (31) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 165 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 66 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

දිමුත් කරුණාරත්න එක් ලකුණකටත්, පැතුම් නිස්සංක ලකුණු 14 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 5කටත් දැවී ගියා.

අනතුරුව සධීර සමරවික්‍රම හා චරිත් අසලංක අතර සිව්වැනි කඩුල්ල සදහා පන්දු 119කින් ලකුණු 78ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

සධීර ලකුණු 54 ක් රැස් කළේ පන්දු 77 කින් හතරේ පහර 6ක් ද සමගින්. අසංලක නොදැවී ලකුණු 62 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. පන්දු 92 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. ධනංජය ද සිල්වා ලකුණු දෙකකට දැවී ගියා. දසුන් ශානක නොදැවී ලකුණු 14 යි.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් කඩුලු 2 ක් දවා ගත් අතර, ටස්කින් අහ්මඩ්, ශොරිෆුල් ඉස්ලාම් හා මහෙදි හසාන් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 164 කට දැවී ගියේ පන්දුවාර 42.4 ක් තුළදීයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නජ්මුල් හොසේන් ශන්ටෝ පන්දු 122කින් ලකුණු 89ක් රැස් කළා. තව්හිද් හ්රිදෝයි ලකුණු 20 යි. මොහමඩ් නයීම් ලකුණු 16 කටත්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 13 කටත් දැවී ගියා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 32 ක් ලබා දෙමින්. මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් දවා ගත් අතර, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරඟයේ වීරයා බවට පත්වුයේ, සිය හොඳම එක්දින අන්තර්ජාතික පන්දු යැවීම වාර්තා කල මතීෂ පතිරණ

Share This Article
Leave a comment