දේවගැති ජෙරොම්ට බැංකු ගිණුම් 12ක්, රු. කෝටි 1226ක් – CID අනාවරණය මෙන්න !

377 Views
5 Min Read

ආන්දෝලනයට තුඩු දුන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට අයත් රජයේ හා පුද්ගලික බැංකු ගිණුම් 12ට රුපියල් කෝටි 1226ක් ලැබී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ අන්‍ය ආගමිකයන් හා ආගමික ඇදහිලි විවේචනය කරමින් ජාතීන් මෙන්ම ආගමිකයන් අතර සංහිඳියාව බිඳහෙළන දේශන පැවැත්වූ බව කියන ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් පිළිබඳව පසුගිය 7 වනදා සිට 12 වනදා දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලට අදාළව ප්‍රගතිය වාර්තා කරමින් අධිකරණයට කළ කරුණු දැක්වීම් වලින් මේ බව අනාවරණය වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති වාර්තාවට අනුව ෆාස්ටර් ජෙරොම් යන අයගේ පුද්ගලික ගිණුම්, ඔහුට අයත් පුද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, ඔහුගේ යාඥා සිදු කරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිඳ වන මෙලනි ඩයන් වැන්කියුලස්බර්ග් යන අයට අයත් රජයේ සහ පුද්ගලික බැංකු 12ක ගිණුම්වලට මෙලෙස රුපියල් කෝටි 1226ක් ලැබී තිබෙනවා.

ෆාස්ටර් ජෙරොම් දේශන පවත්වා ඇති කටුනායක වේයන්ගොඩ පාරේ පිහිටි මිරකල් ඩෝම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 6100ක් වැය කර ඇති බවත්, එහි පුද්ගලයන් 5000කට එකවර ආසන වෙන් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී, තහවුරු වී ඇති බවයි, කියැවෙන්නෙ. ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ සෝදිසි මෙහෙයුම සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් ඔවුන් මේ බව කියා ඇති අතර මෙම මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.

එමෙන්ම පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා දේශන 10ක් මිරකල් ඩෝම් ආයතනයේ පවත්වා ඇති බවත්, එහි තිබී සංස්කරණය නොකළ සීඩී තැටි දෙකක් සිය භාරයට ගත් බවත් එම වාර්තාවේ දැක්වෙනවා. එහි සිටි එම ආයතනයේ මාධ්‍ය අංශ ප්‍රධානී සචින් ධනුෂ්ක පුංචිහේවා යන අයගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර එම ආයතනයේ ස්ථාපිත කර ඇති සීසීටීවී දර්ශන එම අවස්ථාවේ නොමැති බවට අශෙල් මේනක ප්‍රනාන්දු යන ලබාදුන් කට උත්තරයේ සඳහන්වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වාදෙනවා. එම දර්ශන කඩිනමින් ලබා දෙන බවට ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කර ඇතත්, ඒවා මේ දක්වා ලැබී නැති බවත් මෙම විමර්ශනයට අවශ්‍ය සාක්ෂි ඔවුන් චේතනාන්විතව වසන් කරන බැවින් හෙට (26) සචින් ධනුෂ්ක පුංචිහේවා යන අයට නොතිසියක් නිකුත් කරන ලෙස මෙම වාර්තාව ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම පසුගිය 18 වනදා දේවගැති ජෙරොම් යන අයට අයත් බව කියන කිංග්ස් රිවිවල් චර්ච් ආයතනය අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුව මත සෝදිසි කළ බවත්, එම ආයතනය 2001 වසරේ සිට භාෂා ත්‍රිත්වයෙන්ම දේශනා පවත්වා ඇති බවත්, එහි ස්ථිර සාමාජිකයන් 1200ක් සිටින බවත්, පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවේ සටහන් වෙනවා.

එසේම එහි පවත්වනු ලබන දේශනා පටිගත කරනු නොලබන බව එහි සිටි භාරකරු වන කේ. ආර්. ඒ. සී. කුලසේකර යන අය සඳහන් කර ඇති බවත් කියැවෙනවා. අධිකරණ නියෝග ප්‍රකාරව ලබා ගත් සෝදිසි වරෙන්තුවලට අනුව මෙනේරිගම ගල්කිස්ස ස්ථානයක්ද, සෝදිසි කළ බවත් එමෙන්ම මෙම සැකකාර දේවගැතිවරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කල්මුණේ මරදගහමුල ජමියතුල් උලමා සංවිධානයේ සාමාජිකයන් විසින්ද, ස්වේච්ඡාවෙන් පැමිණ ප්‍රකාශ ලබා දී ඇති අතර එහි සභාපතිවරයා වන පී.එම්.එස්.ඒ. අන්සර් මවුලානා යන අය මෙම දේවගැතිවරයා ඉස්ලාම් ආගම සහ එහි භක්තිකයන් සම්බන්ධයෙන් වෛරී ප්‍රකාශ සිදු කර ඇති බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටිනවා.

මේ සම්බන්ධයෙන් එම දේවගැතිවරයාගේ සමාගමේ සංවිධායිකාවක වන රුවනි නිවන්තිකා, වවුනියාව උකුලංකුලම මහේන්ද්‍රරාජා මයුරදන්, කොළඹ 02 පදිංචි මොහොමඩ් අස්ලාම් ඔස්මන්, මොරටුව පදිංචි ගයත්‍රි සංජීව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂකවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

මෙම වාර්තාව සකස් කිරීම උදෙසා සෝදිසි මෙහෙයුම් දියත් කරන ලද්දේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ලබාදුන් අවසරයක් අනුව යමින්. ඔහුගේ සහ අනෙකුත් පිරිස්වලට අයත් බැංකු හරහා මුදල් කෝටි ගණනින් හුවමාරු වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ඊට අදාළව සිදු කරනු ලබන වැඩිදුර විමර්ශන සඳහා මෙම නියෝග ඉල්ලා තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය මැයි 15 වනදා සැකකාර පූජකවරයා සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් විදේශ ගමන් තහනමක් ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබුණු අතර ඒ වනවිටත් ඊට පෙරදින (මැයි මස 14) සැකකාර පූජකවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පූජ්‍ය අගුළුගල්ලේ සිරිවිජයනන්ද හිමියන් පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Share This Article
1 Comment