News

රුපියල් 1000 කට කොළඹින් සුපිරි නිවසක් !

රුපියලේ අගය සීඝ්‍රයෙන් පහත යාමත් සමඟ බඩු මිල අහස උසට නැග ගියා. එහෙත් බොහොමයක් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද රජයේ සේවකයන්ගේ ද වැටුප බිඳුවක් හෝ ඉහළ ගියේ නැත. රුපියල් 2500කින් මසක් ජීවත් වන්නට බලා සිටි කම්කරුවාගේ මාසික ජීවන වියදම රුපියල් 75,000 ඉක්මවා ගියා. සුළු පරිමාණ ව්‍යාපාර බොහොමයක් බිඳ වැටුණු අතර බොහෝ මහා පරිමාණ විදේශ ආයෝජකයෝ ද බඩු බාහිරාදිය අකුලාගෙන ගම්බිම් බලා යන්නට වූණා. අසරණ මාස් පඩි කාරයෝ කබලෙන් ලිපට වැටුණා.

ගොඩනැගිලි ද්‍රව්‍ය වල මිල බරපතළ ලෙස ඉහළ යාම නිසා ඉදිකිරීම් අංශය කඩා වැටුණා. ඒ හා සම්බන්ධ ක්ෂේත්‍ර වල සේවයේ යෙදුණු සේවකයෝ සිය දෛනික ආදායම අහිමි වීමෙන් නන්නත්තාර වූවා.

මේ සියල්ල හමුවේ නිවාස හිමියෝ නිවාස කුලී ප්‍රමාණය ඉහළ නැංවූවා. කෙතරම් දුර බැහැරක වුවද කුඩා නිවසක මිල රුපියල් පහළොස් දාහක් ඉක්මවා ගියා. කොළඹ නගරය ආශ්‍රිතව එය රුපියල් 30,000 ඉක්මවනවා. කාමර දෙකක් හා ජල විදුලිය සහිත නිවසක් සඳහා වුවද ඉතා ඉහළ කුලී මුදලක් ගෙවීමට පුරවැසියාට සිදුව තිබේ ගමේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍ය පෙළ සමත් වී රජයේ පාසලකට පැමිණෙන සාමාන්‍ය පුරවැසියා දුක් විඳ උසස් පෙළ කඩඉම ජය ගෙන විශ්ව විද්‍යාලයට පිවිසෙනවා.

වසර හතරක් මහපොළ ශිෂ්‍යාධාර යෙන් පිරිමසා කුස රවටා ගෙන ලත් උපාධි සහතිකය පිහිටෙන් රැකියාවක් සොයා ගනී. එසේ ජීවත් වන කාටත් ජීවිතය දුෂ්කර වී තිබෙනවා. ලබන වැටුපෙන් හතරෙන් තුනක් නිවාස කුලී ලෙස ගෙවා ඉතිරි සොච්චමෙන් හිඟා නොකා හිඟා කෑමට ජනතාවට සිදුව ඇත.

මෙබදු වාතාවරණයක් තුළ අධ්‍යාපන සුදුසුකම් කෙසේ වුවත් කොළඹ නගරයේ ආරක්ෂිත පරිසරයක සුඛෝපභෝගී නිවසක් රුපියල් 1000ක් වැනි සුළු මාසික ගාස්තුවකට ලබා ගැනීමට පින් කළ කොටසක් ද වෙනවා.

ඔවුන්ගේ සුඛෝපභෝගී නිවාස සඳහා ජලය විදුලිය සපයනු ලැබෙනවා. විදුලි කප්පාදුවක දී වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් ලැබීමට තරම් ඔවුන් පින්වන්තයෝ. දුරකථන පහසුකම් මෙන්ම ආරක්ෂාවද ඔවුන්ට සපයනු ලැබෙනවා.

එසේම නිවාස නඩත්තුව මෙන්ම කසළ කළමනාකරණය ද රජයේ වියදමෙන් ම කරනු ලැබෙනවා. මේ පින්වතුන් ජීවත් වනුයේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේයි. නිල නිවාස 120න් 111ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාසිකව රුපියල් දාහක ගාස්තුවකට නිකුත් කර තිබෙනවා.

ඉතිරි නිවාස නවය මාදිවෙල නිවාස සංකීර්ණය සඳහා පහසුකම් සපයන ආයතන සඳහා වෙන්කර තිබෙනවා.

ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද වේදිකාවල ජනතාව වෙනුවෙන් මරහඬ දී කෑගසන මන්ත්‍රීවරු මෙම නිල නිවාස වල සුඛ විහරණයෙන් කල් ගෙවනවා. රජයේ සේවකයෙකු නිල නිවාසයක් ලබා ගැනීමේ දී තම වැටුපෙන් 10% ක මුදලක් නිවාස කුලිය ලෙස ගෙවිය යුතුයි.

එසේ නම් රජයේ සේවකයකු වූ මන්ත්‍රීවරයාද මූලික වැටුප රුපියල් 54, 285ක මුදලින් අවම වශයෙන් රුපියල් 5428.50ක් නිවාස කුලී ලෙස ගෙවිය යුතු නොවන්නේද?

1994 වර්ෂයේ ඉදිකරන ලද මෙම නිල නිවාස සංකීර්ණය අවසන් වරට ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 2020 වර්ෂයේ දීයි. මෙම ප්‍රතිසංස්කරණයේදී නිල නිවාස වල ඇතුළත පිටත බිත්ති පින්තාරු කිරීම, පැන්ට්‍රි කබඩ් අලුත්වැඩියා කිරීම, දිරාගිය පැන්ට්‍රි කබඩ් වෙනුවට අලුත් කබඩ් සවිකිරීම, දොර ජනෙල් හා වහලවල සියළුම අලුත්වැඩියාවන්, ජල නල පද්ධතිය හා නාන කාමරවල අඩුපාඩු සකස් කිරීම, විදුලි පද්ධතියේ අඩුපාඩු සකස් කිරීම ආදී සියලුම අංශ පිළිබඳව අවධානය යොමු කොට අලුත්වැඩියා කරන ලදී. මේ සඳහා යොදවන ලද මුදල රුපියල් 3,625,450.08ක්.

පාර්ලිමේන්තු නිල නිවාසයක් අයදුම්කිරීම සඳහා මූලික සුදුසුකම වනුයේ අයදුම්කරු අයදුම් කරන අවස්ථාව වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමයි. එසේම එම මන්ත්‍රීවරයා හෝ කලත්‍රයා හෝ ඔහු ගෙන් යැපෙන දරුවෙකු සතුව පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් හතළිහක් (සැතපුම් 25ක් ) දුර ප්‍රමාණය තුළ නිවසක් නොතිබීම හා නිවසක් කුලියට හෝ බද්දට දී නොතිබීම අවශ්‍යයි.

අයදුම්කරු රජයේ නිල නිවාසයක් හෝ මහල් නිවාසයක් ලබා නොමැති විය යුතු වෙනවා. මෙම නිල නිවාසයක් ලබා ගන්නා මන්ත්‍රීවරයකු නිල නිවාස දීමනාවක් ලබා නොගත යුතුයි.

සුදුසුකම් සපුරන මන්ත්‍රීවරයකු නිල නිවාස අයදුම්පත්‍රයක් සමඟ අදාළ සීමාව තුළ නිවසක් හිමි නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමෙන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිල නිවසක් ලබා ගත හැකි වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වැටුපට අමතරව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම වෙනුවෙන් එක් දිනක් සඳහා රුපියල් 2,500ක රැස්වීම් දීමනාවකට ද, පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රුපියල් 2500 ක දීමනාවකටද හිමිකම් කියයි.

2023 ජුනි මාසය සඳහා දින 11ක් මෙසේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන ලද අතර දිනකට රුපියල් 2,500 බැගින් රුපියල් 27,500ක අමතර දීමනාවක් ඔවුන් උපයා ගෙන ඇත. කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් ද ඔවුන්ට ලැබෙනවා. සංග්‍රහ දීමනාව වශයෙන් රුපියල් 1000ක් හා රුපියල් 3,500ක රියදුරු දීමනාවකටද මන්ත්‍රීවරයෙක් හිමිකම් කියයි.

ඊට අමතරව මන්ත්‍රීවරයා තේරී පත්වුණු දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර සඳහා වැයවන තෙල් ලීටර් ප්‍රමාණය අනුව ඉන්ධන දීමනාවක් ද ස්ථාවර හා ජංගම දුරකථන සඳහා රුපියල් පනස්දාහක දීමනාවක් ද ලැබෙනවා. පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙකු කාර්යාලයයට පැමිණීම වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 2,500 බැගින් මාසිකව රුපියල් 10,000 ක දීමනාවක් ද ගෙවනු ලැබෙනවා.

එක් කාර්තුවකට රුපියල් 87, 500 බැගින් වසරකට රුපියල් තුන්ලක්ෂ පනස් දහසක නිදහස් තැපැල් පහසුකම් ද මන්ත්‍රීවරයකුට හිමියි. පාර්ලිමේන්තුව ආපන ආපනශාලාවෙන් ඉතා අඩු මිලකට සුඛෝපභෝගී ආහාර ද ඔවුන් වෙනුවෙන් සපයනු ලැබේ තීරුබදු රහිත වාහන ඔවුන් ලබන තවත් වරප්‍රසාදයකි.

කාර්ය මණ්ඩලය ලෙස පවුලේ ඥාතීන් බඳවා ගැනීම කළ හැකි වීමද , ඉහළ කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන දීමනා, වාහන, වැටුප් ඇමතිවරුන් දක්වා උසස් වීමවීම් වලදී ලැබෙනවා. ලංකාවේ වසර පහක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් ලබාගත හැකි එකම රැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයයි.

මන්ත්‍රීවරයකු හදිසි අනතුරකින් හෝ ත්‍රස්ත ක්‍රියාවකින් මියගියහොත් පවුලේ අයට ලක්ෂ 50ක රක්ෂණ ආවරණයක් හිමියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දළ වැටුප රුපියල් 416,852 පමණ වෙනවා. සියලු අඩු කිරීම් වලට අනුව පසුව ඔවුහු රුපියල් 3 22,658 ක වැටුපකට හිමිකම් කියනවා.

මෙම මන්ත්‍රී නිවාස සංකීර්ණය පවත්වාගෙන යාම සඳහා අධික පිරිවැයක් දැරිය යුතු බව පිළිගන්නා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊට විසඳුමක් ලෙස ඉදිරිපත් කරන්නේ එම නිල නිවාස පිහිටි භූමියේ මන්ත්‍රීවරුන් සදහා නිවාස සංකීර්ණයක් ඉදි කළ යුතු බවයි.

නිල නිවාසයක් සඳහා ඔවුන්ගෙන් අය කරගන්නා මාසික ගාස්තුව ඉහළ නැංවීම ඊට වඩා යෝග්‍ය නොවන්නේ ද?

මාදිවෙල බඳු තදාසන්න ප්‍රදේශයක පවතින නිල නිවාස සඳහා මීට වඩා වැඩි මිලක් අය කළ හැකි නොවන්නේද?

රුපියල් 25,000ක වැටුපක් ලබන සුළු සේවකයා පවා කුලී නිවසකට වැටුපෙන් අඩක් වැය කරන පසුබිමක මෙතරම් වරප්‍රසාද ලබන මන්ත්‍රීවරුන් සඳහා සුදුසු කුලියක් අයකිරීම අසරණ කම්කරුවාගේ පඩි පතට දිගින් දිගටම බදු පැනවීමට වඩා මානුෂික නොවන්නේද?

මන්ත්‍රීවරුන් ලබන මේ සා වරප්‍රසාද වලට සරිලන සේවාවක් ඔවුන්ගෙන් ඉටු වේ ද යන්න සැක සහිතයි. මෙතරම්ම වරප්‍රසාද ප්‍රමාණයක් මන්ත්‍රීවරුන් සඳහා ලබාදීම ශ්‍රී ලංකාව වැනි අන්ත දිළිඳු රටකට ඔරොත්තු දේ ද යන්න විමසා බැලිය යුතු කරුණක්.

-චම්පිකා මුතුකුඩ-

Ceylon News Factory

Recent Posts

නාමල්ගේ දරුවන් සහ නැන්දම්මා රටින් පිට වෙයි !

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ මව , දරු දෙදෙනා , සේවිකාවන් දෙදෙනෙකු සහ තවත්…

15 hours ago

ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන වෙලාව ගැන ඉඟියක් !

ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට (21) රාත්‍රි 11.00 පමණ වනවිට නිකුත් කළ හැකි බවට විශ්වාස…

16 hours ago

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණය තාවකාලිකව අත්හිටුවයි !

නිමාවට පත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය තාවකාලිවක අත්හිටුවීමට පියවර ගෙන ඇති බව…

16 hours ago

T20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි !

ලබන ඔක්තෝබර් මස 03 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක…

17 hours ago

ගෝඨාභය රාජපක්ෂත් රටින් පිට වෙලා !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.…

17 hours ago