පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කරන ලද සංවිධාන 5ක තහනම ඉවත් කෙරේ !

829 Views
2 Min Read

2019 අප්‍රේල් මස 21 වනදා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පසුව තහනම් කරන ලද ඉස්ලාම් සංවිධාන එකොළහකින් සංවිධාන 5ක තහනම් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

සති අන්ත ඉංග්‍රීසි ජාතික පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා.

වසරකට වැඩි කාලයක් පැවති විමර්ශනයකින් පසු බුද්ධි අංශවල විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් මෙම කණ්ඩායම්වල නියෝජිතයන් සහ රජයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව ලබා දුන් නිර්දේශයන්ට අනුව මෙම සංවිධාන 5 තහනම ඉවත් කරනු ලැබේ.

කෙසේ නමුත් අදාළ තහනම දැඩි කොන්දේසි මත ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාස්කු ප්‍රහාරයෙන් පසුව, 2021 අප්‍රේල් මසදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මඟින් මෙම සංවිධාන 5 ද ඇතුළත්ව ඉස්ලාම් සංවිධානය 11ක ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය තීරණය කළ බව නිවේදනය කළා.

ඒ අනුව, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM), ශ්‍රී ලංකා තවුහිද් ජමාත් (SLTJ), ඕල් සිලෝන් තවුහිද් ජමාත් (ACTJ), සිලෝන් තවුහිද් ජමාත් සහ එක්සත් තවුහිද් ජමාත් (UTJ) යන සංවිධානවල තහනමයි ඉවත් කර ඇත්තේ.

කෙසේ නමුත් තහනම ඉවත් කළ පසු මෙම සංවිධානවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කළ යුතු බව විද්වත් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

තවද ඔවුන්ගේ අරමුදලේ මුලාශ්‍ර සහ අධ්‍යාපන වැඩසටහන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවට එම විද්වත් කමිටුවේ අදහසයි.

එම සංවිධාන සිය සාමාජිකත්වය සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බවද පොරොන්දු වී තිබෙනවා.

Share This Article
Leave a comment