මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් ඓතිහාසික නඩු තීන්දුවක් !

540 Views
2 Min Read

යාපනයේ සිට කොළඹට හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 135 ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් විසින් අද (12) මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. මෙය ඓතිහාසික නඩු තීන්දුවක් වන බවයි වව්නියාව වවුනියාව මහාධිකරණයේ නීතිඥවරු පවසා සිටියේ.

2017 නොවැම්බර් මස 9 වැනි දින වවුනියාව ප්‍රධාන පොලිස් ස්ථානයට ලද රහසිගත තොරතුරක් මත වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොලිසිය විසින් එදින රාත්‍රී 8.30 ට වවුනියාව පැරණි බස් නැවතුම්පොළ ඉදිරිපිටදී යාපනයේ සිට පැමිණි බස් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

වසරකට පසුව සැකකරුට අධිකරණයෙන් ඇප නියම වූ අතර රජයේ රස පරීක්ෂකවරයාගේ නිර්දේශය වූයේ සැකකරු විසින් ප්‍රවාහනය කරන ලද හෙරොයින් පාර්සලයේ අඩංගු හෙරොයින් ප්‍රමාණයම ශුද්ධ හෙරොයින් මිස වෙනත් ද්‍රව්‍යයක් එහි කලවම් වී නොමැති බවයි.

ඒ අනුව මොහුට එරෙහිව පැවති නඩු විභාගයෙන් පසුව අදාල සැකකරු විසින් එම හෙරොයින් පාර්සලය යාපනයේ සිට කොළඹට රැගෙන යන ලද්දේ අලෙවි කිරීම සදහා බවට තහවුරු වීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට මරණීය දණ්ඩනය නියම කල බවයි වාර්තා වන්නේ.

මෙසේ මරණීය දණ්ඩනයට නියම වූයේ යාපනය නවකුසි ප්‍රදේශයේ පදිංචි කාන්තියා ත්‍යාගරාජා නැමැති 55 හැවිරිදි පුද්ගලයෙකුටයි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් වවුනියාව මහාධිකරණයේ පවරා තිබූ මෙම නඩුව වෙණුවෙන් රජයේ නීතීඥවරුන් වන දර්ශිකා තිරුකුමාරන් සහ ආරුමුගම් තනුජන් යන නීතිඥවරු පෙනී සිටි බවද වාර්තා වනවා.

වවුනියාව මහාධිකරණයේ නීතිඥවරු කියා සිටියේ වවුනියාව අධිකරණ ඉතිහාසය තුළ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා දුන් පළමු අවස්ථාව මෙය වන අතර එය ඓතිහාසික නඩු තීන්දුවක් වන බවයි.

Share This Article
Leave a comment