ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ පැවැත්වෙන හරාරේ ක්‍රීඩාංගනයේ ගින්නක් (VIDEO)

223 Views
2 Min Read

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග පැවැත්වෙන සිම්බාබ්වේහි හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ ඊයේ (21) රාත්‍රී කාලයේ දී ගින්නක් හට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, බළධාරීන් මැදිහත් වී ගින්නෙන් ක්‍රීඩාංගනයට හානියක් සිදු වීම වළක්වා ගැනීමට සමත් වූ බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනතුරුව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් හා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබද පරීක්ෂණයක් සිදු කර තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම සදහා ක්‍රීඩාංගනය සුදුසු මට්ටමක පවතින බවට නිගමනය කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම විසින් නෙදර්ලන්තය කඩුලු 6 කින් පරාජයට පත් කිරීමෙන් පැය 6කට පමණ පසුවයි මෙම ගිනි ගැනීම වාර්තා වී තිබුණේ.

ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් වාර්තා වන්නේ නැහැ. අද පෙරවරු කාලයේ දී ක්‍රීඩාංගනය ඉදිරි තරග සදහා ප්‍රේක්ෂකයින්ට ආරක්ෂිතදැයි සොයා බැලීමක් සිදු කර තිබූ අතර, එහිදී ඉදිරි තරග පැවැත්වීම වෙනුවෙන් ක්‍රීඩාංගනය සුදුසු මට්ටමක පවතින බව තීරණය කර තිබෙනවා.

තරගාවලිය යටතේ මූලික වටයේ තවත් තරග 3ක්, සුපිරි හය වටයේ තරග 4 ක් හා අවසන් මහා තරගය හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

සෙනසුරාදා දිනයේ දී සිම්බාබ්වේ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ද මෙම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, එම තරගයට ඉහළ ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

Share This Article
Leave a comment