වසර ගණනකට පසු අරුණ ලියාන් දිවයිනට !

2 Min Read

‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් වසර තුනහාමාරකට ආසන්න කාලයකට පසු සිය මව් රටවන ශ්‍රී ලංකාවට අද(16)පැමිණේ.

සිය විදෙස් ජාතික බිරිඳ හා දියණිය සමඟ ඔහු පදිංචිව සිටිනුයේ ඔස්ට්‍රියාවේ ය. එහි සිට විදේශීය සංගීත කණ්ඩායම් සමඟ සිය නිර්මාණාත්මක හැකියාව ඉදිරිපත් කරමින් දෙස් – විදෙස් රසිකයින් රැසකගේ ආදරය දිනාගෙන සිටින අරුණ ලියාන්, දක්ෂ ගිටාර් වාදකයෙකි.

අරුණ ලියාන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙරට පැවැත්වෙන දැවැන්ත සංගීත සංදර්ශණ කිහිපයකට සහභාගී වීමට නියමිත බව වාර්තාවේ.

එසේම ඔහු විසින් ඔහුගේ අතිශය ජනප්‍රියට පත්වූ ගීත රැසක්ම යළි අලුත් කරමින් එළිදැක්වීමට ද බලාපොරොත්තුවෙන් සිටින බව අරුණ ලියාන් අප සමඟ සදහන් කළේය. මීට අමතරව ‘හද සැලෙනා රැයේ ‘ යනුවෙන් අරුණ ලියාන් LIVE IN CONCERT ප්‍රාසාංගික අත්දැකීමක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ මෙන්ම රටවල් කිහිපයක ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇත.

එහි පළමු ප්‍රසංගය ඉතාලියේ වෙරෝනා හිදී එළඹෙන මැයි 27වැනිදා පැවැත්වේ.

හද සැලෙනා – පාට පාට හීනයක් – හිරුගේ ලොවේදී – යෞවන ලෝකය – ආදර ලොවේ – ශීලා – සුදු ඇඳුමින්
පියමන්නේ – හනුමන්තා ඇතුළු ගීත රැසක් නව සංගීතය මුසුව නව රසයකින් රසිකයින්ට තිළිණ කිරීමට අරුණ ලියාන් සූදානමින් සිටි. ඒ වෙනුවෙන් වූ විශේෂ ගීත ඇල්බමයක් ද නුදුරේදී ශ්‍රී ලංකාවේ දී එළි දැක්වීමට නියමිතය.

අරුණ ලියාන් පිළිබඳ පසුගිය කාලයේ මෙරට වැඩි අවදානයක් යොමු වූයේ ‘ජය ශ්‍රී’සංගීත කණ්ඩායමේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු සඳහා ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් විසින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා එන්තර වාසි යැවීමේ සිද්ධිය සමගිනි. අනතුරුව ගීත 20ක් ගායනා කිරීම වලක්වාලමින් ‘ජය ශ්‍රී’ රෝහිත ජයලත් සහ රොහාන් ජයලත්ට එරෙහිව වාරණ ආඥාව නිකුත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය පියවර ගත්තේය.

කෙසේ නමුත් රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් වන අධිකරණයට අපහාස කිරිමේ නඩුවක් මේවන විට පවතින අතර එම නඩුව ලබන 26වැනිදා යළි කැදවීමට නියමිතවේ.

Share This Article
Leave a comment