තීරණාත්මක අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් ?

217 Views
2 Min Read

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තුන්වන සහ තීරණාත්මක අවසන් 20-20 තරගය රාජ්කෝට් හිදී අද (07) රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම ලකුණු 2කින් ජය ගත් අතර දෙවන තරගය ලකුණු 16කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

ඒ අනුව මෙම තරගාවලිය මේ වනවිට පවතින්නේ 1ට එකක් ලෙස සම තත්ත්වයේය.

අද පැවැත්වෙන තීරණාත්මක තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ඉන්දියාව තුළදී ඉන්දියා කණ්ඩායමට එරෙහිව 20-20 තරගාවලියක් ජයගෙන නොමැති අතර අද පැවැත්වෙන තුන්වන 20-20 තරගය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසය අලුත් කිරීමේ හැකියාව පවතී.

රාජ්කෝට් හිදී අද පැවැත්වෙන තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක් සිදුවනු ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, මෙම තරගාවලියේ අසාර්ථක වූ භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු අද තරගය සඳහා කැඳවනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඉන්දියාව සමග අද පැවැත්වෙන තුන්වන තරගයට සහභාගී වීමෙන් පසු දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර 20-20 තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වනු ඇති.

ජාත්‍යන්තර 20-20 තරග 84කට ක්‍රීඩා කරමින් මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම 20-20 තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර තිබුණේ ලසිත් මාලිංගය.

ශ්‍රී ලංකා පිල රාජ්කෝට් ක්‍රීඩාංගණයේදි 20-20 තරගයක් සඳහා එක්වන්නේ පළමු වරට වන අතර ඉන්දීය පිල මෙම ක්‍රීඩාංගණයේදී මේ දක්වා 20-20 තරග 4කට ක්‍රීඩා කරමින් තරග 3ක් ජය ගෙන තිබේ.

Share This Article
Leave a comment