වව්නියාවේ මහා මාර්ගවල ගවයින් ගැටීම හේතුවෙන් පැය 24ක් ඇතුළත සිදුවූ දෙවැනි මාරක අනතුර වාර්තා වී තිබේ.

මෙම අනතුරු දෙකින් පුද්ගලයින් 03ක් මිය ගොස් 08 දෙනෙක් බරපතල තුවාල සහිතව රෝහල් ගත කර ඇත.

මහා මාර්ගයේ නිදා සිටි ගවයෙකුගේ ගැටීම හේතුවෙන් වව්නියාව හොරොව්පතාන මාර්ගයේ දී ඊයේ රාත්‍රියේ සිදුවූ ඩිෆෙන්ඩර් රථයක් අනතුරට පත්වීමෙන් පසු සිදුවූ දෙවැනි මාරක අනතුර වවුනියාව මන්නාරම පාරේ පම්පමඩුව යුද හමුදා කදවුර අසල දී සිදුවී තිබේ.

යතුරු පැදියක ගවයෙකු ගැටීම නිසා යතුරු පැදිය පදවා ගෙන ගිය පුතා බරපතල තුවාල අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති අතර යතුරුපැදියේ පසුපස ගමන් ගත් මව සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ වවුනියාව කුරුක්කල්පුදුකුලම් ගම්මානයේ පදිංචිව සිටි විජේරත්නම් ජයන්තිනී නැමති වයස අවුරුදු 45ක මවකි.

ඇගේ පුත්‍රයා වූ විජේරත්නම් සිවරෝයන් බරපතල ලෙස තුවාල ලබා වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

මේ දිනවල වර්ෂාව නිසා ගවයින්ගේ අයිතිකරුවන් ගවයින් ගාල් කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ගවයින් රාත්‍රී කාලයට මහා මාර්ගයේ නිදා ගන්නට පුරුදුව සිටිති.

මේ අතර ඊයේ (09) රාත්‍රියේ වවුනියාව -හොරොව්පතාන මාර්ගයේ වෙලිකුලම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ජීප් රථයක් ගවයෙකුගේ ගැටීම නිසා සිදුවූ අනතුරෙන් අදාල ජීප් රථයේ ගමන් කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු මරුමුවට පත්වී තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මඩුකන්ද කදවුරේ සේවය කළ මැදවච්චිය දුම්රිය නගරයේ පදිංචි පොකො 38778 යාපා මුදියන්සේලාගේ සුපුන් ප්‍රදීපන හා කුරුණෑගල කුඹුක්වැව කිරිමැටියාව පදිංචි පො.කො. 27287 හේරත් මුදියන්සේලාගේ හසිත දිනේෂ මධුසංක නැමති නිලධාරීන් දෙදෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *