ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Asia Cup 2023) සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (09) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගයි. ඉකුත් දිනවල කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට ම තද වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවැතීම හේතුකොට ගෙන අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙතැයි මත පළවනවා.

කෙසේ නමුත් අන්තර්ජාල කාලගුණ වාර්තා පෙන්වා දෙන පරිදි අද දිනයේ දී ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිහිටි ප්‍රදේශයට වැසි ඇතිවීමේ සම්භාවිතාව 29%ක් වන අතර අහස වළාකුලින් බර තත්ත්වක් පැවතීමට නියමිතයි.

මේ අතර තරගය ආරම්භ වීමට නියමිත පස්වරු 3.00 සිට තරගය අවසන් විය හැකි යයි අනුමාන කළ හැකි කාලය තුළ වැසි ඇතිවීමේ ස්වභාවයක් පෙන්නුම් කරන්නේ නැහැ. එම වාර්තාවන්ට අනුව අද දිනයේ දී අදාළ ප්‍රදේශයේ ආර්ද්‍රතා ප්‍රතිශතය 30%ක් බවත් පෙන්වා දෙනවා.

මේ අතර මේ දිනවල දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පදනම් කරගෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසා තිබුණේ, ඉකුත් දිනවලට සාපේක්ෂව පැවැති වැසි තත්ත්වය අද දිනයේ දී තරමක් අඩු වෙතැයි අපේක්ෂා කරන බවත් වැසි ඇති විය නොහැකි බවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

තව ද අද දිනයේ දී කඩින් කඩ වැසි ඇති වීමේ හැකියාවක් තිබෙන නමුත් තද වැසි ඇතිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා නොකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *