අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් !

657 Views
2 Min Read

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) නිකුත් කල නිවේදනයට අනූව ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

මේ හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, ඇලපාත, කුරුවිට, කහවත්ත, ගොඩකවෙල, පැල්මඩුල්ල යන ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාස වෙත අදියර දෙක යටතේ ‘අවදානයෙන් සිටින්න’ ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙයට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල සහ යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ අකුරැස්ස, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පේ, ඕපනායක, කිරිඇල්ල සහ කලවාන, අදියර එක යටතේ ‘විමසිලිමත් බවින් සිටින්න’ යන නිවේදනය ද නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, කඳු ආශ්‍රිතව යම් ප්‍රමාණයක වර්ෂාපතනයක් ලැබෙන බැවින් කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කරන ලෙසත් එම සංවිධානය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share This Article
Leave a comment