මහනුවරදී අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ මිරිහානට රැගෙන එයි !

453 Views
1 Min Read

අද (31) දහවල් මහනුවර මහයියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මේ වනවිට මිරිහාන පොලීසිය වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ මිරිහානේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ නිවසේ තිබු අංක තහඩු සහ යතුරු නොමැති සුඛෝපභෝගී මොටර් රථයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක මෙම මෝටර් රථය සඟවා ඇති බවට පොලිස් මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනූව පොලිසිය එම නිවස දැඩි සෝදිසියකට ලක් කර තිබුණා. ඒ වන විට ලොහාන් රත්වත්තගේ බිරිඳගේ මව එම නිවසේ පදිංචිව සිටියා.

එහිදී පසුගිය 26 වැනිදා අදාළ මෝටර් රථය පොලීසිය විසින් සොයාගනු ලැබූ අතර මිරිහාන පොලීසිය මගින් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පසුව අදාළ නිවසට ගොස් එම රථය පොලිස් භාරයට ගෙන තිබුණා.

මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා සති 3කට පමණ පෙර අදාළ රථය මිරිහාන නිවසේ ගරාජයට ගෙනවිත් දැමූ බවට රත්වත්තේ සහ ඔහුගේ බිරිද විසින් පොලීසියට පවසා තිබෙනවා.

අදාළ සුඛෝපභෝගී මෝටර් රථය මිරිහාන පොලීසිය වෙත රැගෙන යෑම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමටද පොලිසියට සිදුව වු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This Article
Leave a comment